Commander of the Sri Lanka Navy – Biography
Commander of the Sri Lanka Navy
Navy Logo
නාවික හමුදාපති

වයිස් අද්මිරාල්

ඩේමියන් ප්‍රනාන්දු

ආර්එස්පී, යූඑස්පී, ආර්සීඩීඑස්, එම්ඒ ඉන් අයිඑස් ඇන්ඩ් එස් (යුකේ), එම්එස්සී (ඩීඑස්) එම්ජීටී, ඒඑෆ්එන්අයි, සාම විනිසුරු (මුළු දිවයිනටම)

චරිතාපදානය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, 2026 ජූලි මස 01 වැනි දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි.නාවික හමුදාධිපති තනතුරට පත්වීමට පෙර, ඔහු 2024 දෙසැම්බර් 31 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන ලදි.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, 1991 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන ශිෂ්‍යභට නිලධාරි බඳවා ගැනීමට (21st Intake) අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවේ විධායක අංශයට එක් විය. ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික නාවික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, 1993 වර්ෂයේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ ඔහු, "තාක්ෂණික විෂයයන්හි ඉහළම සමස්ත ලකුණු ලබාගත් නිලධාරියා" (Highest Aggregate in Technical Subjects) සහ "හොඳම වෙඩික්කරු" (Best Marksman) යන ගෞරව සම්මාන දෙකම හිමිකර ගනිමින් දශක තුනකට අධික කීර්තිමත් නාවික සේවා දිවියකට අඩිතාලම තැබීය.1995 වර්ෂයේදී ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපීඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ලබා ගෙන සාර්ථකව නිම කළ ඔහු, 2003 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාවේ INS Dronacharya පුහුණු ආයතනයේ අවි සහ මිසයිල (Gunnery and Missiles) පිළිබඳ දීර්ඝ පාඨමාලාව හදාරා "හොඳම සමස්ත නිලධාරියා" (Best All Round Officer) ලෙස සම්මානයට පාත්‍ර විය. ඉන් අනතුරුව, 2010 වර්ෂයේදී මහජන චීන සමූහාණ්ඩුවේ නාවික අවි නඩත්තු ඉංජිනේරු (Naval Gun Maintenance Engineer) පාඨමාලාව ද සාර්ථකව හදාරමින් සිය වෘත්තීය හා තාක්ෂණික නිපුණතාව තවදුරටත් වර්ධනය කර ගනු ලැබීය.

වෘත්තීය සහ අධ්‍යයන කුසලතා අඛණ්ඩව වර්ධනය කරගත් ඔහු, එක්සත් රාජධානියේ රාජකීය ආරක්ෂක අධ්‍යයන විද්‍යාපීඨයෙහි උපාධිධාරියෙකු වන අතර, ඒ සඳහා හිමිවන RCDS පශ්චාත් නාමය ද හිමිකරගෙන ඇත. එමෙන්ම, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙතින් ආරක්ෂක අධ්‍යයන කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (MSc) උපාධිය සහ එක්සත් රාජධානියේ ලන්ඩනයේ පිහිටි කිංග්ස් කොලේජ් (King's College London) වෙතින් ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපායමාර්ගය පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධිය ද ලබා ඇත. තවද, හවායි, හොනොලුලු හි පිහිටි ආසියා-පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයෙ (Asia Pacific Center for Security Studies) හි කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, එක්සත් රාජධානියේ නාවික ආයතනයේ (Nautical Institute) හි Associate Fellow (AFNI) තනතුර ද උසුලයි. එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ පුහුණු අංශය වන බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (Bandaranaike International Diplomatic Training Institute - BIDTI) මඟින් පවත්වනු ලබන ආරක්ෂක උපදේශක (Defence Attaché) පාඨමාලාව සාර්ථකව නිම කරමින් ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ විශේෂඥ පුහුණුව ද ලබා ඇත. මීට අමතරව, එක්සත් ජනපද නාවික යුද විද්‍යාලය (United States Naval War College) විසින් පවත්වන ලද Combined Force Maritime Component Commander පාඨමාලාව ද සාර්ථකව සම්පූර්ණ කර ඇත.

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇත. ඒ අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරි ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන් ගණනාවක අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කර ඇත. තවද, නාවික යුදායුධ නිලධාරි, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික අවි, නාවික හමුදාවේ ප්‍රධානතම ප්‍රහාරක ඒකකයක් වන හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (බටහිර), නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කර ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදාධිපති වශයෙන් පත්වීමට පෙර, 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මාණුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ඔහුගේ අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති අතර, නාවික හමුදාධිපති විසින් අවස්ථා හතකදී සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි පිරිනමා ඇත.

තවද, මුළු දිවයින සඳහා සාමදාන විනිශ්චයකාරවරයෙක් ලෙස කටයුතු කරන වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද ක්‍රීඩා කර ඇති අතර, නාවික හමුදා ක්‍රිකට් සංගමයේ සභාපති ලෙසද කටයුතු කර ඇත. සංචාරය කිරීම, ඡායාරූපකරණය, කියවීම සහ සංගීතය ඔහුගේ විනෝදාංශ වේ.

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් දෙපලට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටියි.

Accessibility Tools